නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1832 කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය බංගලාවත්ත ඒත්තාලේ ප්‍රදේශයේ 2024 ජුනි මස 03 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් සඟවා තබන ලද බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් අටසිය තිස් දෙකකට (1832) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය සහ තම්බපන්නි ආයතන මඟින් ‍ 2024 ජුනි මස 03 වන දින කල්පිටිය බංගලාවත්ත ඒත්තාලේ ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, ළදු කැලෑවක් තුළ සැකකටයුතු ලෙස සඟවා තිබූ උර පනස් හතක් (57) නිරීක්ෂණ‍ය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 1832 ග්‍රෑම් 900 පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.