නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 04) උදෑසන වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් එකසීය හැටපස් දෙනෙකු (165) ආරක්ෂිතව මුදාගැනීම සහ පුද්ගලයන් එක්දහස් හයසිය පනහක (1650) පමණ පිරිසකට එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම සිදු කෙරුණු අතර, ආපදා සහන කණ්ඩායම් පනහක් (50) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.

ඒ අනුව, නාවික හමුදාව මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මීතොටමුල්ල, හංවැල්ල, බියගම සහ සපුගස්කන්ද ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් දහතුනක් (13), කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, බුලත්සිංහල, ඉංගිරිය, වැලිපැන්න, ගල්පාත සහ කෙත්හේන ජල පිරිපහදු මධ්‍යස්ථානය වෙත ආපදා සහන කණ්ඩායම් දහයක් (10), ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ, ගම්පහ සහ වේයන්ගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හතරක් (04), රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ කිරිඇල්ල ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් දෙකක් (02), ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, උඩුගම, දොඩංගොඩ සහ නාගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක් (06), මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, පනාතුගම, කඹුරුපිටිය, මාතර සහ තිහගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් පහළොවක් (15) වශයෙන් සම්පුර්ණ ආපදා සහන කණ්ඩායම් පනහක් (50) අනුයුක්ත කර ඇත.

එමෙන්ම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත දකුණු පළාතේ නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් සිදුකෙරෙන ආකාරය නිරීක්ෂණය සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් 2024 ජුනි මස 03 වන දින සහභාගි වූ අතර, එහිදී මාතර දිස්ත්‍රික් ලේකම් ගනේශ අමරසිංහ මහතා හමු වී දකුණු පළාතේ ආපදා සහන මෙහෙයුම් කාර්යක්ෂමව සිදුකිරීම සම්බන්ධයෙන් මෙන්ම, නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඇතුළු පළාතේ විදුලි බලය නොමැති ස්ථානයන්හි ඇති විදුලි ජනක යන්ත්‍ර වෙත අවශ්‍ය ඉන්ධන යාත්‍රා මඟින් සපයාදීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.

තවද, ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන හා සම්බන්ධීකරණය වී අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථානගත කිරීම සඳහා අමතර සහන කණ්ඩායම් තවදුරටත් නාවික හමුදාව සූදානමින් තබා ඇත.