නාවික හමුදාව මඟින් බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් තුළ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 03) සන්ද්‍යාව වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් එකසීය දෙදෙනෙකු (102) ආරක්ෂිතව මුදාගැනීම සහ පුද්ගලයන් නවසීය දහනවයක (919) පමණ පිරිසකට එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම සිදු කෙරුණු අතර, ආපදා සහන කණ්ඩායම් පනහක් (50) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.

ඒ අනුව, නාවික හමුදාව මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මීතොටමුල්ල, සීතාවක, හංවැල්ල සහ බියගම ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් දහහතරක් (14), කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, බුලත්සිංහල, ඉංගිරිය සහ වැලිපැන්න ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් නවයක් (09), ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ, ගම්පහ සහ වේයන්ගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හතරක් (04), රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ කිරිඇල්ල ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් දෙකක් (02), ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, උඩුගම, බද්දේගම සහ නාගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක් (06), මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, පනාතුගම, කඹුරුපිටිය සහ මාතර ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් පහළොවක් (15) වශයෙන් සම්පුර්ණ ආපදා සහන කණ්ඩායම් පනහක් (50) අනුයුක්ත කර ඇති අතර, එම කණ්ඩායම් මෙලෙස ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.

තවද, ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන හා සම්බන්ධීකරණය වී අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථානගත කිරීම සඳහා අමතර සහන කණ්ඩායම් නාවික හමුදාව සූදානමින් තබා ඇත.