නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වූ බවට සැකකෙරෙන පුද්ගලයින් 05 ක් සහ පහසුකම් සැලසූ පුද්ගලයින් 02 ක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; තලෛයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ 2024 ජුනි මස 02 වන දින රාත්‍රී කාලයේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකින් මෙරටට සංක්‍රමණය වූ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික පුද්ගලයන් පස් දෙනෙකු (05) සහ ඔවුන් හට පහසුකම් සැලසූ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) සමඟින් පුද්ගලයන් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන අනවසර සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් තලෛයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ 2024 ජුනි මස 02 වන දින රාත්‍රී කාලයේ සිදුකළ මුර සංචාරයකදී, සැකකටයුතු ලෙස එම ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයින් පස් (05) දෙනෙකු නීරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයින් ගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී එම පිරිස නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව එම පිරිස වෙත පහසුකම් සැලසූ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකුද (02) සමඟින් එම පුද්ගලයින් හත් දෙනා (07) එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පිරිස අවුරුදු 27 ත් 42 ත් අතර වයසේ පසුවන වව්නියාව, තලෙයිමන්නාරම සහ මන්නාරම යන ප්‍රදේශයන්හී පදිංචි ශ්‍රී ලාංකියන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.