නාවික හමුදාව මඟින් බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් තුළ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින්; කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාව ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතියි.

ඒ අනුව, අද දින (2024 ජුනි 03) උදෑසන වන විට පුද්ගලයන් තිස් හය දෙනෙකු (36) මුදවා ගැනීමට සහ පුද්ගලයන් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් වෙත යාත්‍රා මඟින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සහ ආහාරපාන බෙදා හැරීම ඇතුළු සහන සැලසීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

නාවික හමුදාව මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මීතොටමුල්ල, සීතාවක සහ හංවැල්ල ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක් (06), කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, බුලත්සිංහල, ඉංගිරිය සහ වැලිපැන්න ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් අටක් (08), රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය වෙත එක් (01) ආපදා සහන කණ්ඩායමක්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, උඩුගම, බද්දේගම සහ නාගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක් (06), මාතර දිස්ත්‍රික්කයේ මාතර, මාලිම්බඩ, අකුරැස්ස, පනාතුගම සහ කඹුරුපිටිය ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් දොළහක් (12) වශයෙන් සම්පුර්ණ ආපදා සහන කණ්ඩායම් තිස් තුනක් (33) ආපදා සහන මෙහෙයුම් සඳහා යොදවා ඇත.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් හැටක් (60) සූදානමින් තබා ඇත.