අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පුවක්පිටිය, පාලින්දනුවර හා වැලිපැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස හා පනාදුගම යන ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජුනි මස 01 වන දින කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටියි.

ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟ යන ප්‍රධාන ගංඟාවන් සහ අතු ගංඟාවන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින්, ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දහයක් (10) බුලත්සිංහල, පුවක්පිටිය, පාලින්දනුවර, වැලිපැන්න, තවලම, අකුරැස්ස සහ පනාදුගම යන ප්‍රදේශ වෙත අනුයුක්ත කිරීම සිදු කෙරිණි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ මැරීන් බලකාය ඇතුළු නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය දහසයක් (116) සූදානමින් තබා ඇත.