කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් දකුණු මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ (කිලෝ මීටර් 889 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් අද දින (2024 මැයි 31) නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කෙරිණි.

වෙන්නප්පුව ධීවර වරායෙන් 2024 මාර්තු මස 21 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Ragini Meri” (ලියාපදිංචි අංක IMUL-A- 0866 CHW) නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාව ආපදාවට පත්වී ඇති බවත්, එම යාත්‍රාව මුදාගැනීම සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා වෙළඳ නෞකා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව, ජපන් ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ‘MT TONEGAWA’ නමැති වෙළඳ නෞකාව මඟින් ආපදාවට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) අද දින (2024 මැයි 31 ) නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවරයින් ඉදිරියේදී නාවික හමුදා නෞකාවක් මඟින් මෙරටට ගෙන්වීමට නියමිතව ඇත.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.