නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 617 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 30 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය දහ හතකට (617) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් උච්චමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින්, 2024 මැයි මස 30 වන දින කල්පිටිය උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණ‍ය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල උර දහ නවයක (19) අසුරන ලද බීඩි කොළ කිලෝ 617 ග්‍රෑම් 800 පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ක් සහ 46 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), බීඩි කොළ තොග‍ය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.