නාවික හමුදාව මඟින් ගාල්ල දොඩම්ගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩම්ගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 මැයි මස 27 වන දින ක්‍රියාත්මක කෙරිණි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි තත්වය හේතුවෙන්, ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා, 2024 මැයි මස 27 වන දින දකුණු නාවික විධානය මඟින් මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා මහත් පරිශ්‍රමයක් දරා දොඩම්ගොඩ පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර ජලය ක්‍රමවත්ව බැස යාමට අවශ්‍ය ක‍ටයුතු සිදුකෙරණු අතර, එමඟින් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවදානම මඟහැරවීමට නාවික හමුදාවට අවස්ථාව උදාවිය.