නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් 22 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, නගර්කෝවිල් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 17 වන දින සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07), මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසියයක (400) පමණ තොගයක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 මැයි මස 17 වන දින උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික ස්ථානගතකිරීම මඟින් කිලිනොච්චිය, නගර්කෝවිල් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) සහ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසියයක (400) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 මැයි මස 17 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අවුරුදු 25 ත් 50 ත් අතර වයසේ පසුවන මන්නාරම, කල්පිටිය, මාමුනෙය සහ නිලාවේලී යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, කිලිනොච්චිය, නගර්කෝවිල් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හීදි නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පහළොස් දෙනා (15), ඩිංගි යාත්‍රා හය (06) සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙතත්, ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හත් දෙනා (07), ඩිංගි යාත්‍රාව (01) සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.