නැගෙනහිර මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ (කිලෝ මීටර් 77 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් (ASWAR) නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මැයි මස 17 වන දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මඟින්, ධීවරයින් තුන් දෙනෙකු (03) මුදවා ගත් අතර, ඉන් එක් ධීවරයෙකු (01) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් මඟින් ත්‍රිකුණාමලය වරාය ‍වෙතත්, අනෙක් ධීවරයින් දෙදෙනා (02) ධීවර යාත්‍රාවක් මඟින් වාලච්චේන ධීවර වරාය වෙතත් 2024 මැයි මස 17 වන දින රැගෙන ඒමට කටයුතු කෙරිණි.

ධීවරයින් පස් දෙනෙකු (05) රැගත් අස්වර් (ASWAR) නමැති මෙම බහුදින ධීවර යාත්‍රාව (IMUL-A-0266-TLE) වාලච්චේන ධීවර වරායෙන් 2024 මැයි මස 12 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ආපදාවට ලක් වී ඇත.

ඒ අනුව, වාලච්චේන ධීවර වරායේ පිහිටි සංඥා මධ්‍යස්ථානය වෙතින් ලද තොරතුරකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත ආපදාවට පත් යාත්‍රාවට සහන සැලසීම සඳහා හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් කඩිනමින් ආපදාවට ලක් වූ ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරිණි.

අනතුරුව, අසාධ්‍ය තත්වයේ සිටි එක් ධීවරයෙකු (01) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් CG 407 යාත්‍රාව මඟින් ත්‍රිකුණාමලය වරාය ‍වෙත රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කල අතර, නිරුපද්‍රිව සිටි අනෙක් ධීවරයින් දෙදෙනා (02) වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් වාලච්චේන ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

තවද, ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි ඉතිරි ධීවරයින් දෙදෙනා (02) ගෙන් එක් (01) ධීවරයෙකුගේ මෘත ශරීරය මේ වන විට හමුවී ඇති අතර, අනෙක් ධීවරයා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.