නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; මුලතිව්, අම්බලන්පොක්කනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයෙහි සහ ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි 2024 මැයි මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 මැයි මස 16 වන දින නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින් මුලතිව්, අම්බලන්පොක්කනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයෙහි සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 මැයි මස 16 වන දින නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින් ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 53 ත් අතර වයසේ පසුවන මුලතිව්, කුච්චවේලි සහ පොඩුවකට්ටු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදි. තවද, මුලතිව්, අම්බලන්පොක්කනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), ඩිංගි යාත්‍රා දෙක (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යලය වෙතත්, ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හය දෙනා (06) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රීකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යලය වෙතත් ඉදිරි නීතීමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.