නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 338 ක පමණ තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය තිස් අටක (338) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් උච්චමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින්, 2024 මැයි මස 15 වන දින කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර එකොළහක (11) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය තිස් අටක (338) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා ගොස් ඇති බවට සැකකෙරෙන මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.