නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 29 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය, චුන්ඩිකුලම් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ මන්නාරම තාල්පාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිනව දෙනෙකු (29) සමඟ ඩිංගි යාත්‍රා එකොළහක් (11), මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසිය දහයක (210) පමණ ප්‍රමාණයක්, නීති විරෝධී ධීවර ආම්පන්න සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 මැයි මස 15 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීම මඟින් කිලිනොච්චිය චුන්ඩිකුලම් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා නවයක් (09) නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) සමඟ එම ඩිංගි යාත්‍රා නවය (09) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 මැයි මස 15 වන දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම තාල්පාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02), මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසිය දහයක (210) පමණ ප්‍රමාණයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 62 ත් අතර වයසේ පසුවන මුල්ලියාන්, චැම්පියන්පත්තු, තලයඩි සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදි. තවද, කිලිනොච්චිය, චුන්ඩිකුලම් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් විසි දෙදෙනා (22), ඩිංගි යාත්‍රා නවය (09) සහ නීති විරෝධී ධීවර ආම්පන්න යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත හා මන්නාරම තාල්පාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හත් දෙනා (07) සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02), මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසිය දහයක (210) පමණ ප්‍රමාණය සහ කිමිදුම් උපකරණ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යලය වෙත ඉදිරි නීතීමය කටයුතු සඳහා භාර දීමට නියමිතව ඇත.