නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර, පන්ඩරවේලී වෙරළ ප්‍රදේශයේ 2024 මැයි මස 14 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, ප්‍රවාහනය සඳහා සූදානම් කල නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්දහස් පන්සියයක පමණ තොගයක් (3500) සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 මැයි මස 14 වන දින වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අයත් පන්ඩරවේලී වෙරළ නිරීක්ෂණ මුරකුටිය මඟින් සිලාවතුර, පන්ඩරවේලී වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය සඳහා පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්දහස් පන්සියයක පමණ තොගයක් (3500) සහ කැබ් රථයක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 ක් සහ 31 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය (01) සිලාවතුර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.