නීතිවිරෝධී ලෙස ළඟ තබා ගත් රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ 2024 මැයි මස 11 වන දින සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස ළඟ තබා ගත් රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 මැයි මස 11 දින කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී, ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම නිවසේ සූක්ෂමව සඟවා, නීතිවිරෝධී ලෙස තබා ගත් රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙක් (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ පුරාවස්තු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.