නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 11 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය, කුඩාරප්පු සහ චලෛයි මුහුදු ප්‍රදේශයන්හි 2024 මැයි මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), මුහුදු කූඩැල්ලන් ගණනින් හයසිය පනහක (650) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 මැයි මස 07 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින් කිලිනොච්චිය, කුඩාරප්පු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 මැයි මස 07 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් චලෛයි නාවික අනුඛණ්ඩය මඟින් කිලිනොච්චිය, චලෛයි මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 42 ත් අතර වයසේ පසුවන මන්නාරම සහ හලාවත යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් එකොළොස් දෙනා (11), ඩිංගි යාත්‍රා හතර (04) මුහුදු කූඩැල්ලන් ‍තොගය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.