නාවික හමුදාව මඟින් දොඩංගොඩ සහ අගලිය පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 මැයි මස 03 වන දින ක්‍රියාත්මක කෙරිණි.

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2024 මැයි මස 03 වන දින දකුණු නාවික විධානය මඟින් එම විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුල සිදුකල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම මඟින් එම ප්‍රදේශයන්හි ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම වැලැක්වීමට හැකි විය.