නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 06 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 03 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 මැයි මස 03 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් චලෙයි නාවික අනුඛණ්ඩය මඟින් යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ එම ඩිංගි යාත්‍රා තුන (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 40 ත් අතර වයසේ පසුවන තලෙයිමන්නාරම සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හය දෙනා (06), ඩිංගි යාත්‍රා තුන (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.