නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 13 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, වන්කාලේ හා පල්ලිමුනෙයි ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හත්සිය හැත්තෑ හතක පමණ තොගයක් (777), ට්‍රෝලර් යාත්‍රා පහක් (05) සහ කිමිදුම් උපකරණ නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 29 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයට අයත් වන්කාලේ නාවික අනුඛණ්ඩය මඟින් මන්නාරම, වන්කාලේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එකසිය තිස් පහක පමණ තොගයක් (135) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 අප්‍රේල් මස 30 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව, මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හයසිය හතළිස් දෙකක පමණ තොගයක් (642) සහ ට්‍රෝලර් යාත්‍රා පහක් (05) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 56 ත් අතර වයසේ පසුවන වන්කාලේ, ඉලුප්පුකඩවායි සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), මුහුදු කූඩැල්ලන් තොගය සහ කිමිදුම් උපකරණ නානට්ටාන් ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත්, මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොළොස් දෙනා (11), මුහුදු කූඩැල්ලන් තොගය සහ ට්‍රෝලර් යාත්‍රා පහ (05) මන්නාරම ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.