නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1229 ක පමණ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව, කල්පිටිය මො‍හොත්තුවාරම් ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 30 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය විසි නවයක (1229) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, යුද හමුදාව සහ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව, 2024 අප්‍රේල් මස 30 වන දින කල්පිටිය මො‍හොත්තුවාරම් ප්‍රදේශයේ සිදුකළ මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ ළඳු කැළෑවක සඟවා තිබූ උර තිස් නවයක (39) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය විසි නවයක (1229) පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.