නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 04 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 28 වන දින උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතළිස් තුනක පමණ තොගයක් (343) සහ ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 28 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් පේසාලේ නාවික අනුඛණ්ඩය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතළිස් තුනක පමණ තොගයක් (343) සහ ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 52 ත් අතර වයසේ පසුවන මන්නාරම සහ පේසාලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සිව් දෙනා (04), මුහුදු කූඩැල්ලන් තොගය සහ ට්‍රෝලර් යාත්‍රා දෙක (02) ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.