වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 10 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ සිලාවතුර කොන්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 26 සහ 27 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දහ දෙනෙකු (10) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 26 වන දින නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින් ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ එම ඩිංගි යාත්‍රාව (01), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 අප්‍රේල් මස 27 වන දින වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර කොන්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල බවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ එම ඩිංගි යාත්‍රාව (01), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 16 ත් 60 ත් අතර වයසේ පසුවන කුච්චවේලි සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. තවද, ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් පස් දෙනා (05), ඩිංගි යාත්‍රාව (01), කිමිදුම් උපකරණ සහ නීති වි‍රෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත සහ සිලාවතුර කොන්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් පස් දෙනා (05), ඩිංගි යාත්‍රාව (01) සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා සිලාවතුර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.