තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 07 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය, රතුගල මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 04 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 04 වන දින නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ඇලස්ගාඩන් නාවික අනුඛණ්ඩයේ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍ර බලඝණ කණ්ඩායමක් සහ විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් රතුගල මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී තහනම් ධීවර ආම්පන්න භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) සහ තහනම් ධීවර දැල් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 29 ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් හත් දෙනා (07) ඩිංගි යාත්‍රාව (01) සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.