කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව, අද දින (2024 මාර්තු 31) ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් සහය ලබාදීමට කටයුතු කෙරිණි.

ගාල්ල ධීවර වරායෙන් 2024 මාර්තු මස 10 වන දින ධීවරයින් හත් දෙනෙකු (07) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක (ලියාපදිංචි අංක IMUL - A-0813 GLE) සිටි ධීවරයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්, එම ධීවරයා ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයා මුදවා ගැනීම සඳහා සහය වන ලෙස, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MV Akij Star' නැමැති වෙළඳ නෞකාව‍‍ දැනුවත් කෙරිණි. එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ එම වෙළඳ නෞකාව, රෝගාතුර වූ ධීවරයා එම වෙළඳ නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් අද දින උදෑසන (2024 මාර්තු 31) ගාල්ල වරාය ආසන්නයට රැගෙන ඒමට කටයුතු කෙරිණි. නාවික හමුදාව විසින් දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා රෝගී ධීවරයා වෙළඳ නෞකාව වෙතින් ලබාගැනීමෙන් අනතුරුව, කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් මෙලෙස ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට අද දින (2024 මාර්තු 31) කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි. 2024 වර්ෂයේ එලෙස ආපදාවට පත් විදේශ නෞකාවක් (01) වෙත සහ ධීවර යාත්‍රා හයක් (06) වෙත, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සහන සලසා ඇත.