නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 19 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ අද දින (2024 මාර්තු 06) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහනව දෙනෙකු (19) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය තිස් නවයක (1339) පමණ තොගයක්, ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, අද දින (2024 මාර්තු 06) උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බු‍වනෙක ආයතනයේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ කණ්ඩායමක්, කුඩා ‍යාත්‍රා යොදවා මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහනව දෙනෙකු (19) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය තිස් නවයක (1339) පමණ තොගයක්, එම ඩිංගි යාත්‍රා දෙක (02) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 62 ත් අතර වයසේ පසුවන නාගපත්තුවන්, පල්ලවාරයන්කට්ටු, නච්චිකුඩා, යාපනය, කුමුලමුනෙයි, සිවපුරම් සහ නොච්චිමුනෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් දහනව දෙනා (19), මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා දෙක (02) සහ කිම්දුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.