නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුණෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 මාර්තු මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, උච්චමුණෙයි මුහුදු ප්‍රදේශයයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රාකරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමේදී, එහි තිබී උර දහසයක (16) අසුරන ලද නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල මිලි ලීටර් 100 ප්‍රමාණයේ කෘමිනාශක බෝතල් හාරදහසක (4000) තොගයක් සහ ග්‍රෑම් 10 ක බරින් යුත් කෘමිනාශක පැකට් හය දහස් පන්සීයය තිස් හතරක (6534) තොගයක්, සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟින් එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් හා 44 ක් වන කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), කෘමිනාශක තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.