නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 03 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 29 වන දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන් දහස් හැත්තෑවක (3070) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 පෙබරවාරි මස 29 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බු‍වනෙක ආයතනයේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ කණ්ඩායමක්, සෙඩ්ඩ්‍රික් ‍යාත්‍රාවක් යොදවා මන්නාරම, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන් දහස් හැත්තෑවක (3070) පමණ තොගයක් සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 30 ත් අතර වයසේ පසුවන නච්චිකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් තිදෙනා (03), මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.