රුපියල් මිලියනයක‍ට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා පේදුරුතුඩුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පේදුරුතුඩුව මනල්කාඩු වෙරළ ප්‍රදේශයේ, 2024 පෙබරවාරි මස 29 වන දින දහවල් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් පේදුරුතුඩුව නාවික අනුඛණ්ඩය මඟින්, 2024 පෙබරවාරි මස 29 වන දින දහවල් කාලයේ පේදුරුතුඩුව මනල්කාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කල මෙම සෝදිසි මෙහෙයුමේදී, ‍එම වෙරළ ප්‍රදේශයේ ලඳු කැළෑවක් තුළ සඟවා තිබූ පොලිතීන් ඇසුරුමක අසුරන ලද කේරළ ගංජා කිලෝ 03 ග්‍රෑම් 600 පමණ ප්‍රමාණය මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියනයකට (01) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.