මත්පෙති 53000 තොගයක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 පෙබරවාරි මස 28 වන දින සවස් කාලයේ මන්නාරම, ඉලුප්පුකඩවායි කළපු ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) පනස් තුන්දහසක (53000) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන භාණ්ඩ ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය, ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 පෙබරවාරි මස 28 වන දින ඉලුප්පුකඩවායි කළපු ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ තිබූ සැකකටයුතු බහාලුමක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම බහාලුම තුළ අසුරන ලද නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන මත්පෙති (Pregabalin Capsules) පනස් තුන්දහසක (53000) තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට කටයුතු කෙරිණි.