වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව අද දින (2024 පෙබරවාරි 21 ) අළුයම මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස ‍වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයසියය පනහක් (650) පොදු ප්‍රවාහන සේවය මඟින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය, මන්නාරම පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව, අද දින (2024 පෙබරවාරි 21) අළුයම මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, බස් රථයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී නීති විරෝධි ලෙස රැගෙන යාමට උත්සාහ කළ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ හයසියය පනහක් (650) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම සඳහා මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන අතර, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු, වයස අවුරුදු 43 ක් වන මන්නාරම මුන්දල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලදි. තවද, අත්අඩංගුවට ගත් සැකකරු (01) සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.