නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි පුද්ගලයෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම ආන්දන්කුලම්, නායතුවේලි ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් තුන්දහස් හයසිය විසි එකක (3621) පමණ තොගයක් ගබඩා කර සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2024 පෙබරවාරි මස 15 දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක සහ ඵුස්සදේව ආයතන, මන්නාරම පොලිස් ප්‍රාදේශීය අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, ආන්දන්කුලම්, නායතුවේලි ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ හක් බෙල්ලන් ගබඩා කළ ස්ථානයක් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ස්ථානයේ ගබඩා කර තිබූ වට ප්‍රමාණය මිලිමීටර් 70 යන අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් තුන්දහස් හයසිය විසි එකක (3621) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වන කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු (01) සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා අදම්පන් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.