රුපියල් මිලියන 13 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය පුන්ගුඩුතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජනවාරි මස 15 වන දින දහවල් කාලයේ යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ ළදු කැළැවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් හතරක (34) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය මඟින් 2024 ජනවාරි මස 15 වන දින දහවල් කාලයේදී, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී එම ප්‍රදේශයේ ළදු කැළැවක සඟවා තිබූ උරයක් (01) තුළ පාර්සල් දහසයක (16) අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් හතරක (34) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දහතුනකට (13) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.