රුපියල් මිලියන 02 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වන්කලවාඩි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජනවාරි මස 14 වන දින සවස් කාලයේ යාපනය, වන්කලවාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ වළ දමා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් හයකට (06) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට අයත් නයිනතිව් නාවික අනුඛණ්ඩය මඟින් 2024 ජනවාරි මස 14 වන දින සවස් කාලයේදී, යාපනය වන්කලවාඩි වෙරළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී එම වෙරළ ප්‍රදේශයේ වළ දමා තිබූ පාර්සල් තුනක (03) අසුරන ලද කේරළ ගංජා කිලෝ හයයි (06) ග්‍රෑම් හතලිහක (40) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දෙකකට (02) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.