මත්පෙති 10600 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ජනවාරි මස 12 සහ 13 යන දිනයන්හීදී මිහින්තලේ සහ තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් වලදි, මත්පෙති (Pregabalin Capsules) දසදහස් හයසියයක (10600) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය සහ සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව, 2024 ජනවාරි මස 12 වන දින මිහින්තලේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයා සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් (01) රැගෙන යමින් තිබූ මත්පෙති (Pregabalin Capsules) සියයක (100) ප්‍රමාණයක් සමඟ එම සැකකරු (01) සහ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 ජනවාරි මස 13 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය සහ පොලිස් විශේෂ කාර්ය බලකා උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය එක්ව, තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ග‍ලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, උරයක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) දසදහස් පන්සියයක (10500) තොගයක් එම ප්‍රදේශයේ ළදු කැළෑවක තිබී සොයා ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 38 ක් වන මිහින්තලේ සහ තලෙයිමන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, මිහින්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු (01), මත්පෙති තොගය සහ යතුරු පැදිය (01) මිහින්තලේ පොලීසිය වෙතත්, තලෙයිමන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු (01) සහ මත්පෙති තොගය තලෙයිමන්නාරම පොලීසිය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.