නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 16 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 12 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක් දහස් දෙසිය අසූවක (1280) පමණ තොගයක් සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 ජනවාරි මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් තිබූ සැකකටයුතු කැබ් රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් එක් දහස් දෙසිය අසූවක (1280) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දහසය දෙනෙකු (16) සහ එම කැබ් රථය මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 54 ත් අතර වයසේ පසුවන වංකාලේ, මන්නාරම සහ වීරවිල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් දහසය දෙනා (16), මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.