නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරෙන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 10 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් දහසක (1000) පමණ තොගයක් කිමිදුම් උපකරණ, සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 ජනවාරි මස 10 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් ඕලුතුඩුවායි නාවික අනුඛණ්ඩය මඟින් මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් තිබූ සැකකටයුතු කැබ් රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත් රහිතව නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරෙන මුහුදු කූඩැල්ලන් දහසක (1000) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු (04) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ කැබ් රථය සහ එහි රියදුරු එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 46 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් පස් දෙනා (05), මුහුදු කූඩැල්ලන් තොගය, කිමිදුම් උපකරණ සහ කැබ් රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.