රුපියල් මිලියන 33 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වල්ලිපුරම් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ජනවාරි මස 08 වන දින උදෑසන යාපනය, වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් අසූ හතරකට (84) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ පේදුරුතුඩුව නාවික ස්ථානගතකිරීම, යුද හමුදා බුද්ධි අංශය (SLA MIC Staff) සහ නෙල්ලියඩි පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව, 2024 ජනවාරි මස 08 වන දින යාපනය වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු උර තුනක් (03) නිරීක්ෂණය කර පරීක්ෂා කෙරිණි. එහිදී එම උර තුළ පාර්සල් හතළිහක (40) අසුරන ලද කේරළ ගංජා කිලෝ අසූ හතරයි (84) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන තිස් තුනකට (33) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.