අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 05 වන දින සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එකසීය දහඅටක (118) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයයේ 2024 ජනවාරි මස 05 වන දින මුර සංචාරයේ යෙදී සිටියදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර තුනක් (03) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම උර තුල අසුරන ලද බීඩි කොළ කිලෝ එකසීය දහඅටයි (118) ග්‍රෑම් එකසිය විස්සක (120) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිම‍ට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.