ත්‍රීකුණාමලය සහ පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තවදුරටත් නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 31 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කෙරුණු අතර, අ.පො.ස උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් ඇතුළු ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් නාවික හමුදාව තවදුරටත් සිදුකරමින් සිටියි.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ කින්නියා මයිලපංචවේලි හා සෝලුවඩ්ඩුවාන් ප්‍රදේශයන්ද, ලංකාපටුන ප්‍රදේශයේ වෙරුකල් හා මුතුචේනෙයි ප්‍රදේශයන් සහ පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ සෝමාවතිය ප්‍රදේශය ද ජලයෙන් යටවී ඇති බැවින්, එම ප්‍රදේශයන්හී 2024 අ.පො.ස (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කුඩා යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කෙරිණි. එමෙන්ම, 2023 දෙසැම්බර් මස 31 වන දින සිට මේ දක්වා ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හී ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් 2495 ක් සඳහා කුඩා යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම නාවික හමුදා සහන කණ්ඩායම් විසින් සිදුකෙරිණි.

තවද, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වෙරුකල් ප්‍රදේශයේ නාතන්ඕඩි වේල්ල පිළිසකර කිරීමට දායකත්වය දැක්වීමට සහ තඹලගම ගලමැටියාව වැවේ සොරොව්ව පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් යෙදවීමට කටයුතු කෙරුණු අතර, අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර සහන කණ්ඩායම් ද නාවික හමුදාව සූදානමින් තබා ඇත.