රුපියල් මිලියන 3190 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 245 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් හික්කඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකල බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28 ක් පමණ (කිලෝමීටර් 50 ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2024 ජනවාරි 05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල පරීක්‍ෂාවේදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රුපියල් මිලියන 3190 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 245 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි. අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අද දින උදෑසන ගාල්ල වරායේදී නිරීක්‍ෂණය කිරීම සිදුකෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම‍ උදෙසා මෙරට සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්‍ෂණ කටයුතු සිදුකරනු ලබන නාවික හමුදාව, ඒ සඳහා මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකළ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28 ක් පමණ (කිලෝමීටර් 50 ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් 2024 ජනවාරි මස 04 වන දින සවස් කාලයේ එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ මෙම සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්‍ෂාව සඳහා ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

අද දින (2024 ජනවාරි 05) උදෑසන ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව එම සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවේ සිදුකල පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල උර අටක් (08) තුල පාර්සල් එකසිය තිහක (130) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 189 ග්‍රෑම් 388 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සහ පාර්සල් හතලිස් අටක (48) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 55 ග්‍රෑම් 648 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් හය දෙනා (06) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 245 ග්‍රෑම් 036 ක පමණ තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3190 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 28 ත් 66 ත් අත‍ර වන ගාල්ල, බේරුවල සහ ගල්ගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රාව, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 189 ග්‍රෑම් 388 ක පමණ තොගය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 55 ග්‍රෑම් 648 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන් සහ, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.

එමෙන්ම, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබන අතර, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිලිබඳ තොරතුරු නාවික හමුදාව වෙත සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතනයන් වෙත ලබාදී, රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා සහය වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කෙරේ.