ත්‍රීකුණාමලය සහ පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 31 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හී කින්නියා මයිලපංචවේලි, ලංකාපටුන සහ සුංගාවිල යන ප්‍රදේශයන් ජලයෙන් යටවී ඇති බැවින්, එම ප්‍රදේශයන්හී ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සිදුකර ගැනීම සඳහා අද දිනද (2024 ජනවාරි 04) කුඩා යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය හා මැරීන් බලඝණයට ඇතුළු නාවික හමුදා සහන කණ්ඩායම් 08 ක් මඟින් සිදුකෙරිණි.

ඒ අනුව, 2023 දෙසැම්බර් මස 31 වන දින සිට අද දින (2024 ජනවාරි 04) දක්වා ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හී ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් 1408 ක් සඳහා කුඩා යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කෙරුනි.

තවද, අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර සහන කණ්ඩායම් ද නාවික හමුදාව සූදානමින් තබා ඇත.