ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල පුද්ගලයින් 343 ක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය.

මෙරට සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම උදෙසා ශ්‍රිලංකා නාවික හමුදාව විසින් නිරන්තර සාර්ථක මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් මඟින් ලද ‍තොරතුරු අනුව, 2023 වර්ෂයේ සිදුකල සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් හෙරොයින් කිලෝග්‍රෑම් 715 කට අධික තොගයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3711 කට අධික තොගයක්, දේශීය ගංජා කිලෝග්‍රෑම් 50 කට අධික තොගයක්, හෂීෂ් කිලෝග්‍රෑම් 140 කට අධික තොගයක් සහ අයිස් කිලෝග්‍රෑම් 11 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, දේශීය ගංජා පැළ 92572 ක් ද අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට සමත්විය. එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දේශිය ධිවර යාත්‍රා 18 ක් සමඟ සැකකරුවන් 187 ක්, ඉරාන යාත්‍රාවක් සමඟ ඉරාන සැකකරුවන් 05 ක්, පාකිස්ථානු සැකකරුවන් තුනක් (03) සහ ඉන්දීය ධිවර යාත්‍රා 02 ක් සමඟ ඉන්දීය සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.

එමෙන්ම, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තැත්කල විදේශීය මත්පැන් බෝතල් 191 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 08 ක්, නීතිවිරෝධී දුම්වැටි 41380 ක තොගයක්, මත්පෙති 1016755 ක තොගයක්, මදන මෝදක 2642 ක තොගයක් සමඟ සැකකරුවන් 42 ක්, ගජමුතු 11 ක ප්‍රමාණයක් හා නීතිවිරෝධී ලෙස විදේශ ගත කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 14 කට අධික තොගයක් සමඟ දේශීය යාත්‍රා 03 ක් හා සැකකරුවන් 11 ක්ද පසුගිය 2023 වර්ෂයේදී නාවික හමුදාව විසින් නීතියේ රැහැනට හසුකර දී ඇත.

පසුගිය වසර තුලදී, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට තැත්කල බීඩී කොළ කිලෝග්‍රෑම් 36910 අධික තොගයක්, දුමිකොළ කුඩු කිලෝග්‍රෑම් 878 ක අධික තොගයක්, කහ කිලෝග්‍රෑම් 990 කට අධික තොගයක්, එනසාල් කිලෝග්‍රෑම් 1267 ක්, කෘෂි රාසායනික දියර බෝතල් 4722 ක් හා පැකට් 12907 ක්, රූපලාවන්‍ය නිෂ්පාදන 45418 ක තොගයක් සමඟ සැකකරුවන් 60 දෙනෙකුද නාවික හමුදාව විසින් නීතියේ රැහැනට හසුකර දී ඇත.

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මිනිස් ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධ වූ යාත්‍රාවක් හා පුද්ගලයින් 05 දෙනෙකු ද, නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කල යාත්‍රා 01 ක් හා පුද්ගලයින් 09 ක් ද, නීතිවිරෝධී ලෙස ඉන්දියා‍වේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට උත්සහ කල යාත්‍රා 02 ක් හා පුද්ගලයින් 07 ක්ද නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.

තවද, මෙරට සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපවත්වා ස්ථායි සාගර කලාපයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 වර්ෂයේදීද අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.