රුපියල් මිලියන 14 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයේ අද දින උදෑසන (2023 දෙසැම්බර් 24) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් පහකට (35) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීම‍ මඟින්, වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ සැකකටයුතු උරයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම උරය (01) තුළ පාර්සල් දහසයක (16) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 35 ග්‍රෑම් 100 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් සිදුකරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 14 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.