නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 17) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් එකසිය හතළිස් තුනකට (1143) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි, ගැමුණු සහ රංගල ආයතනයන් එක්ව පී 236 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා, මීගමුව මුහුදු ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 17) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රා තුළ තිබී උර තිස් පහක (35) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් එකසිය හතළිස් තුනකට (1143) අධික තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සිව් දෙනා (04) වයස අවුරුදු 33 ත් 53 ත් අතර වයසේ පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් ‍සිව් දෙනා (04), බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් එකසිය හතළිස් තුනකට (1143) අධික තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.