නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 04 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මුහුදු ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 16 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් අටසිය අටකට (808) අධික තොගයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, 2023 දෙසැම්බර් 16 වන දින අළුයම් කාලයේදී උතුරුමැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් යොදවා මන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රා දෙක (02) තුළ තිබී වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ 808 ග්‍රෑම් 150 ක තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු (04) සහ එම ඩිංගි යාත්‍රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 50 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් සිව් දෙනා (04), වියළි මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.