මත්පෙති 2820 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුර ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 දෙසැම්බර් මස 15 වන දින සිලාවතුර කල්ලාරු මාර්ග බාධකය අසල සහ අච්චානකුලම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි, මත්පෙති (Pregabalin Capsules) දෙදහස් අටසිය විස්සක (2820) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, මන්නාරම අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කල්ලාරු මාර්ග බාධකය අසල 2023 දෙසැම්බර් මස 15 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු (01) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම සැකකරු සන්තකයේ තිබී මත්පෙති (Pregabalin Capsules) එකසිය විස්සක (120) ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ ‍තොරතුරු මත අච්චානකුලම්, නානාට්ටාන් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ තවත් මත්පෙති (Pregabalin Capsules) දෙ‍දහස් හත්සියයක (2700) තොගයක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ක් සහ 23 ක් වන සිලාවතුර සහ නානාට්ටාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා (02) සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.