නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, පෝරුතොට මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 18 වන දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 535 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය විසින් 2023 පෙබරවාරි මස 18 වන දින උදෑසන මීගමුව, පෝරුතොට මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු පාර්සල් දහ අටක් (18) නිරීක්ෂණය කර පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම පාර්සල් තුළ අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 535 පමණ තොගයක් (තෙත බර සහිත ) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණී.