නීති විරෝධී ලෙස මෙරටින් සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 07 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්රදේශයේ 2022 සැප්තැම්බර් මස 28 වන දින පස්වරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය විසින් 2022 සැප්තැම්බර් මස 28 වන දින පස්වරුවේ තලෛමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වැලිපරයක සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට යාත්රාවක් පැමිණෙන තෙක් එම වැලිපරයෙහි රැඳී සිටි බවට සැක කෙරෙන, වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් දෙදෙනෙකු (02) සහ වයස අවුරුදු 18 ට අඩු පස්දෙනෙකු (05) ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් පිරිස කිලිනොච්චිය ප්රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, අනාරක්ෂිත යාත්රා මඟින් නීති විරෝධී ලෙස මෙරටින් සංක්රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.