උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුලි මස 03 වන දින සවස් කාලයේ ක්‍රියාත්මක කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළ පේදුරුතුඩුවට නුදුරු මුහුදේ අනවසර ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කර, මෙරට මුහුදු සීමාව තුලට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල නිරික්‍ෂණය කළ නාවික හමුදාව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා එම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදි, මෙරට මුහුදු සීමාවට ඇතුළුව අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු ධීවර ආම්පන්න සමඟ පේදුරුතුඩුවට නුදුරු මුහුදේදි මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි

ඒ අනුව, නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් කන්කසන්තුරෙයි වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

තවද, මෙරට මත්ස්‍ය සම්පත ඇතුළු සාගරික පරිසරයේ ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම සඳහා මෙන්ම දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.